Story Preview
සමහරු වැස්සට ආසයි. ඒත් සමහරු වැස්සට ආස නෑ. ඒත් වැස්සට ආස නැති අයට වහින්නේ නැතුව තියෙන්නේ නෑ. වහිනකොට හැමෝටම වහිනවා. ඒක තමා ජීවිතේ. අපිට ඕනි දේට වගේම ඕනි නැති දේවල් වලටත් අපිට මූන දෙන්න වෙනවා. ඒ හින්දා වැස්සට ආස නැති උනත් කුඩයක් ඉහලගෙන එලියට යන්න පුරුදු වෙන්න අරලියා
The Complete Story
අලුත් කාමරේ ජනෙල් රෙද්ද පැත්තකට කරලා මන් එලියේ වහින දිහා බලාගෙන හිටියා. කාමරේටම පොඩි බැල්කනි එකක් තිබ්බත් වහින නිසා මන් එලියට යන්නේ නැතුව ජනේලෙන් වැස්ස දිහා බලාගෙන හිටියා. අප්පච්චී තාම කෑම්ප් එකට යන ගමන් වෙන්න ඇති කියලා මට හිතුනේ තාම එයාගෙන් කෝල් එකක් ආවේ නැති නිසා. එයත් පව්. මේ දවස් ටිකට අප්පච්චී ඇදිලා ගිහින් කියලා දැක්ක ගමන් පේනවා. ඒත් අපි දෙන්නම අපි දෙන්නා කතා කරන්න අකමැති මාතෘකාව ලගදි ගොලු වෙනවා. ඒ නිසා අප්පච්චී හොදින්ද කියලා වත් අහන්න මට බෑ. මොකද ඒ මාතෘකාව කෙලවර වෙන්නේ ලොකු දුකකින් කියලා අපි දෙන්නම දන්න නිසා. මාත් ඒ නිසා මන් හොදින් කියලා පෙන්නන්න බොරු හිනාවක් මූනේ මවා ගන්න කොට අප්පච්චිත් ඒකම කරනවා කියලා මන් දන්නවා. කෑම්ප් එකේදි එයා කොච්චර සැර උනත් ගෙදරට එයා කවදාවත් ඒ සැර ගෙනාවේ නෑ. ඒ නිසා මට ඉන්නේ ලෝකේ ඉන්න හොදම අප්පච්චී කියලා මන් දන්නවා. එයා ආදරේ කරන්නේ වෙනස්ම විදිහකට. කෑම්ප් එකේ වැඩ එක්ක හැමදාම මන් ලග ඉන්න බැරි උනත් මන් ගැන එයා හැමදේම දන්නවා. ඉස්සරත් හැමදාම රෑට අම්මිට දෙන කෝල් එකේදි වැඩිපුර කතා වෙන්නේ මන් ගැන කියලා මන් දන්නවා. ඒ හින්දා ඇත්තටම එයා මන් ගැන නොදන්න දෙයක් නෑ. වැස්ස එන්න එන්න වැඩි කරනවා විතරයි. බෑග් වත් අස් කරන්නේ නැතුව මන් තාම ජනේලෙන් වැස්ස දිහා බලා ගත්ත ගමන්මයි. “චූටි බේබි, මන් ඇතුලට එන්නද?” “එන්න ලීලා නැන්දේ” මන් වැස්සෙන් ඇස් දෙක අරගෙන දොර දිහා බලන කොටම දොරත් ඇරගෙන ලීලා නැන්දා ඇතුලට ආවා. “ලොකු නෝනා බේබිට මේ කිරි කෝපි එක දෙන්න කිව්වා” මන් ජනේලේ ලගින් නැගිටලා ඇවිත් ලීලා නැන්දා අතින් කිරි කෝපි එක ගත්තා. “චූටි බේබිට බඩු අස් කර ගන්න මන් උදව් කරන්නද?” කාමරේ ඇද ගාව තාම ගෙනාපු විදිහටම තියෙන මගේ බෑග් ටික දැකලද කොහෙද ලීලා නැන්දා එහෙම අහන්න ඇත්තේ. “එපා ලීලා නැන්දේ. මන් තව ටිකකින් අස් කරන්නම්. එක පාරටම වැස්සක් ආපු නිසා මන් වැස්ස දිහා බලාගෙන හිටියේ.” “චූටි බේබිට හැබැයි මේ වැස්සට පුරුදු වෙන්න වෙයි. මෙහේ වහින කොට කලක් වෙලාවක් නෑනේ” ජීවිතේම කනපිට හැරිලා වගේ තියෙන කොට මේ වැස්සට පුරුදු වෙන එක ඒ තරම් දෙයක් නෙවෙයි කියලා ලීලා නැන්දට කියන්න මට පුලුවන් කමක් තිබ්බේ නෑ. **** රෑ කෑම කන්න එන්න කියලා ලීලා නැන්දා කතා කරනවා ඇහිලා තමා මන් ආයිත් පහලට බැස්සේ. මන් කෑම මේසෙට යනකොට කෑම මේසේ හිටියේ නිර්මා ඇන්ටී විතරයි. මන් ගිහින් එතන පුටුවක් ඇදලා වාඩි උනේ නිර්මා ඇන්ටිට පොඩි හිනාවක් දෙන ගමන්. “බඩු අස් කර ගත්තද දෝණි?” මන් ඔලුව වනලා නිර්මා ඇන්ටිට ඔව් කිව්වා. “බඩු මොනවා හරි ගන්න තියෙනවා නම් මන් හෙට දෝනිව ටවුන් එකට එක්කගෙන යන්නම්. මටත් හෙට නිවාඩු.” “අප්පච්චී බඩු ගොඩක් අරන් දුන්නා ඇන්ටී එන්න කලින්” “ම්ම්ම්, එහෙනම් පස්සේ වෙලාවක මන් දෝනිව ටවුන් එක පැත්තේ රවුමක් දාන්න එක්කගෙන යන්නම්කෝ. තනියම ඇදුම් ගන්න එහෙම ගිහින් මට එපා වෙලා හිටියේ.
අපේ ගෙදර කවුරුවත් මාත් එක්ක ඔය ගමන් වලට එන්නේ නෑනේ” නිර්මා ඇන්ටිගේ මූනේ ඒ වෙලාවේ නම් ඇත්තටම දුකක් තිබ්බා. ඒක හරියට මට දුවෙක් හිටියා නම් වගේ හැගීමක් කියලා මට දනුනේ. මන් නිර්මා ඇන්ටිට හිනා වෙලා බත් එක්ක කන්න ගත්තා. කනවට වඩා මන් කරේ බත් එක අතගාපු එක විතරයි. වෙනදා අම්මී මායි කියව කියව රෑට කන හැටි මතක් වෙලා මගේ ඇස් වලින් වැටෙන්න ගියපු කදුලු මන් නතර කර ගත්තේ අමාරුවෙන්. හැමෝම ඉස්සරහා හිනා වෙලා හිටියට හිත ඇතුලෙන් මන් තාම අඩනවා. පොඩි කාලේ ඉදන් ලගම යාලුවොත් මට හිටියේ නැති නිසා හිතේ දුක කියන්න කෙනෙක්ට කියලා මට හිටියේ අප්පච්චී විතරයි. ඒත් අපි දෙන්නම ගොලු වෙන මාතෘකාවක් ඉස්සරහා මගේ හිතේ දුක කියන්න මට පුලුවන් කමක් තිබ්බේ නෑ. කාලා ඉවර වෙලා මන් ආයිත් කාමරේට ඇවිත් බැල්කනි එකට ගියා. දැන් වැස්ස පායලා තිබ්බ නිසා මන් බැල්කනි එකෙන් පේන ගාර්ඩ්න් එක දිහා බලාගෙන හිටියා. මේ ගෙදරට ආපු ගමන් මගේ ඇස් ගියේ ගාර්ඩ්න් එකට. ගාර්ඩ්න් එක ඒ තරම් ලස්සනයි. කොහොමත් නිර්මා ඇන්ටිලගේ පවුල හිටියේ ලන්කාවේ ධනපති පන්ති වලත් උඩම. ගාර්ඩ්න් එක පැත්තක ගාර්ජ් එකේ නවත්තලා තිබ්බ වාහන ටික දිහා බැලුවම ඒක කියන්න පුලුවන්. මේ තරම් සල්ලි තිබිලත් නිර්මා ඇන්ටී තාම ඩොකටර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ. අනිත් එක හරිම සාමාන්‍ය පවුලක හිටපු අම්මී නිර්මා ඇන්ටී හොදම යාලුවෝ උනේ කොහොමද කියලත් මන් දන්නේ නෑ. අම්මී නැති උනාට පස්සේ මන් අප්පච්චී එක්ක ඉන්න ඕනි කියලා කොච්චර කිව්වත් අප්පච්චී කිව්වෙම මට කෑම්ප් එකේ ක්වාටස් වල ඉන්න බෑ කියලා. අප්පච්චී දැන් ඉන්නේ යාපනේ කෑම්ප් එකක. එයා ආමි එකේ නිසා කාලෙන් කාලෙට එක එක කෑම්ප් වලට යනවා. ඒ නිසාම තමා එයා වැඩිපුර ගෙදර හිටියේ නැත්තේ. අන්තිමට නිර්මා ඇන්ටී මාව බලාගන්නම් කියපු නිසයි, මෙහේ තියෙන හොදම ඉස්කෝලෙකට මාව දාන්න පුලුවන් කියපු නිසයි අප්පච්චී මාව මෙහේ එක්කගෙන එන්න තීරනය කරා. මෙහේ එන්න මගේ ලොකු කැමැත්තක් තිබ්බේ නැති උනත් අප්පච්චිගෙ හිත රිද්දන්න බැරි කමට මන් හා කිව්වා. අම්මිගේ පැත්තේ නෑදෑයොත් අපි එක්ක ලොකු සම්බන්දයක් තිබ්බේ නැත්තේ අප්පච්චිව බදිනවට අම්මිගේ ගෙවල් වලින් අකමැති උන නිසාලු. ඒත් මගේ අම්මී අප්පච්චී තරම් ආදරෙන් හිටපු කවුරුවත්ම මන් දැකලා තිබ්බේ නෑ. ඒ නිසා මගේ ජීවිතේ මගේ ලගින්ම හිටියේ අම්මී අප්පච්චී විතරයි. ඒ නිසා අම්මී නැතුව මගේ ජීවිතේ මට දැනෙන්නේ කවදාවත්ම පුරවන්න බැරි හිස් කමක් විතරයි. ***** ඊලග දවසේ උදේ කනකොටයි දවල් කනකොටයි දෙකේදිම මන් නිර්මා ඇන්ටිව දැක්කේ නෑ. දවල් කාලා මන් සාලේ පැත්තට ඔලුව දාලා බැලුවේ නිර්මා ඇන්ටී ගෙදර ඉන්නවද බලන්න. ඊයේ ඇන්ටී කිව්වේ නම් අද ගෙදර ඉන්නවා කියලනේ. “ලොකු නෝනා ඉස්පිරිතාලේ ගියා චූටි බේබි.” මන් හැම පැත්තටම බෙල්ල කරකනවා දැකලද කොහෙද ලීලා නැන්දා කිව්වේ. මේ තරම් ලොකු ගෙදරක නිර්මා ඇන්ටී තනියම ඉන්නේ කොහොමද කියලත් මට වෙලාවකට හිතෙනවා. අන්කල් කරේ බිස්නස්. එයාලට එයාලගෙම බ්රෑන්ඩ් එකක ෆුඩ් චේන් එකක් තිබ්බා. ඒකේ හෙඩ් ඔෆිස් තිබ්බේ කොලබ නිසා අන්කල් ගොඩක් වෙලාවට ඉන්නේ කොලබ කියලා අප්පච්චී මට කියලා තිබ්බේ. එතකොට නිර්මා ඇන්ටිට පුතාලම තුන් දෙනෙක් ඉන්නවා. ඒක මන් දැන ගත්තේ ගෙදර සාලේ එන්ලාජ් කරලා එල්ලලා තිබ්බ ෆොටෝ එකෙන්. ඒ ෆොටෝ එකේ නිර්මා ඇන්ටී අන්කලුයි වාඩි වෙලා ඉන්න කොට පිරිමි ලමයි තුන් දෙනෙක් එයාලගේ පිටිපස්සේ හිටියා. අප්පච්චිත් එයාලා මොනවද කරන්නේ කියලා ලොකු විස්තරයක් දැනගෙන හිටියේ නෑ. නිර්මා ඇන්ටිත් මට මුකුත්ම කිව්වේ නැති නිසා මන් හිතුවේ එයාලා මේ ගෙදර නැතුව ඇති කියලා. ඒ අයියලා සමහරවිට ලන්කාවෙත් නැද්ද දන්නේ නෑ කියලා මට හිතුනා. නිර්මා ඇන්ටී මාව බලාගන්නම් කිව්වෙත් ඒ නිසාද දන්නේ නෑ කියලා ආයිත් මට හිතුනා.
හවස කම්මැලි නිසා මන් ගාර්ඩ්න් එකට ගිහින් පොතක් කියවන්න ගත්තා. ගාර්ඩ්න් එකේ පැත්තක ස්වින්ග් චෙයාර් එකක් තිබුනා. ඒ ස්වින්ග් චෙයාර් එකේ බේබි රෝස වැලක් දෙපැත්තට යවලා තිබ්බේ. ඒ හින්දා එතන වාඩි උනාම රෝස ගාර්ඩ්න් එකක ඉන්නවා වගේ දැනෙන්නේ. මන් චෙයාර් එකේ පැත්තට වාඩි වෙලා කකුල් දෙකත් උඩට අරගෙන ඇදගෙන හිටපු ගවුම කකුල් දෙක වැහෙන්න දා ගත්තා. මන් ඊට පස්සේ නිකොලස් ස්පාර්ක් ගේ නෝට්බුක් නවල් එක කියවන්න ගත්තේ කම්මැලිකමට. මන් පැයක් විතර වෙලා පොත කියවන්න ඇති. ඒත් එක්කම ගේට් එකත් ඇරිලා බෙන්ස් එකක් කෙලින්ම ගිහින් ගරාජ් එකේ නතර උනා. ඒ කාර් එක මන් ඊයේ ඉදන් ගරාජ් එකේ දැකපු නැති නිසා මන් කාර් එක දිහා ඇස් පිල්ලන් ගහන්නේ නැතුව බලාගෙන හිටියා. නිර්මා ඇන්ටී ඔය තරම් වේගෙන් කාර් එක ඩ්‍රයිව් කරනවා කියලා මන් හිතන්නේ නෑ. ආවේ අන්කල් වත්ද කියලා ආයිත් මට හිතුනා. ඒත් කාර් එකෙන් බැස්සේ පිරිමි ලමයෙක්. ගරාජ් එක තිබ්බේ ස්වින්ග් චෙයා එක තිබ්බ පැත්තේ නෙවෙයි නිසා එතන තිබ්බ දුරට මට බැස්ස කෙනාගේ මුන හරියට පෙනුනේ නෑ. සන් ග්ලාසස් දෙකක් දාලා කලු පෑන්ට් එකකට කලු පාටම ටීශර්ට් එකක් ඇදලා හිටපු කෙනා මාව දැක්කේ නෑ කියන්න මට තේරුනේ කාර් එකෙන් බැස්ස ගමන් ගෙදර ඇතුලට ගිය නිසා. ගෙදර ඇතුලට ගිය විදිහටම කියන්න පුලුවන් මේ ගෙදර ඉන්න කෙනෙක් කියලා. ඒ කියන්නේ නිර්මා ඇන්ටී තනියම නෙවෙයිද ඉන්නේ? ඇත්තටම මේ ගෙදර නැවතුනාට අයියලා මොනවද කරන්නේ කියලා මන් මුකුත්ම දැනගෙන හිටියේ නෑ. මාව මෙහේ ගෙනත් ඇරලපු වෙලෙත් අප්පච්චී නිර්මා ඇන්ටී වැඩිපුරම කතා කරේ මන් ගැන. ඒ හින්දා අයියලා ගැන මුකුත්ම දැනගන්න මට බැරි උනා. ඒත් එයාලා ගැනත් මගේ හිතේ ලොකු කුතුහලයක් තිබ්බේ නෑ. අම්මී නැති උනාට පස්සේ මන් ගොඩක් වෙනස් වෙලා. ඒක මට දැනෙනවා. මගේ පාට පාට ලෝකේ ඇත්තටම දැන් අලු පාට වෙලා. තව ටික වෙලාවක් ගාර්ඩ්න් එකේ ඉදලා මන් කාමරේට ගියා. බයෝ වලින් ඒලෙවල් ලියන්න හිතුවට ඒකට ගොඩක් මහන්සි වෙන්න වෙනවා කියලා මන් දන්නවා. ඩොකටර් කෙනෙක් වෙනවට වඩා කොහොමහරි ඒ ලෙවල් ලියලා කැම්පස් යන්න තිබ්බා නම් මට ඇති. මොකද ඉස්සර තරම් පාඩම් කරන්න මට බෑ කියලා මන් දන්නවා. ඒත් අප්පච්චිට දුකක් දෙන්න මට ඕනි නෑ. මන් ඕලෙවල් වලට ඒ නමයක්ම ගත්තා. මන් ඒ කාලේ පාඩම් කරේ හරිම ආසාවෙන්. රෑ වෙනකම් පාඩම් කරන කොට අම්මී සැරින් සැරේට පොඩි පොඩි කඩචෝරු කාමරේට ගෙනත් දෙනවා. එයා කවදාවත් මන් නිදාගන්න කම් නිදා ගත්තේ නෑ. ඒකට ඇත්තටම හේතුවක් තිබ්බා. මන් පොඩි දේටත් ඉක්මනට කලබල වෙන කෙනෙක්. එහෙම උනාම මගේ හාර්ට් බීට් එක වැඩි වෙලා පැනික් ඇටෑක් එකක් වගේ එනවා. ඉතින් පාඩම් කරලා ස්ට්‍රෙස් වගේ දැනුනොත් මන් කරන්නේ ගිහින් අම්මිව බදාගෙන ඉන්න එක. එතකොට අර හයියෙන් හයියෙන් ගැහෙන හාර්ට් එක ඉබේම කාම් වෙනවා. ඇත්තටම අම්මී තමා මගේ ස්ට්‍රෙස් රිලීසින් පිල් එක වෙලා හිටියේ. ඒත් දැන් එහෙම මගේ පිටට තට්ටු කර කර ඔලුව අත ගාන්න කෙනෙක් නෑ නේද කියලා මතක් වෙනකොට ඇස් වලට එන කදුලු නවත්තගන්න මට බෑ. ලීලා නැන්දා කන්න කතා කරනවා ඇහිලා මන් කදුලු පිහිදගෙන කන්න පහලට බැස්සා. මන් යනකොටත් නිර්මා ඇන්ටී සාලේ හිටියේ. “හදිස්සියෙම හොස්පිටල් යන්න උනා දෝනි. මන් යනකොට උදේම නිසා ඔයාට කියන්නත් බැරි උනා. පාලු හිතුනද?” නිර්මා ඇන්ටී ලස්සන හිනාවක් තියෙන කෙනෙක්. ඇත්තටම එයා කතා කරන විදිහට හිත නිවෙනවා. ඒ එයා ඩොකටර් කෙනෙක් නිසාද දන්නෙත් නෑ. මන් ඔලුව දෙපැත්තට වනලා නෑ කියලා කිව්වා. “යන්, කාලා ඉමු” නිර්මා ඇන්ටී මගේ අතකින් අල්ලගෙනම ගිහින් කෑම මේසෙන් වාඩි කෙරෙව්වා. “බබා ආවද ලීලා?” කෑම මේසේ දැක්ක ගමන්ම නිර්මා ඇන්ටී ඇහුවා. “ඔව් ලොකු නෝනා, ටිකකට කලින් ආවා. මන් කන්න කතා කරන්නද?” “නිදි නම් නිදාගන්න දෙන්න ලීලා. බබා ඔහොම මහන්සි වෙලා ලෙඩක් වත් හදාගනීද කියලා මට බය” “බබා හැමදාම ඔහොමනේ ලොකු නෝනා. ගෙදර ඉන්නේ රෑට කන ටිකටයි නිදා ගන්න ටිකටයි විතරනේ” “ඒ උනාට දැන් විබාගෙට පාඩම් කරන්නත් ඕනිනේ ලීලා. මේ කොල්ලා අච්චර වැඩ අස්සේ රැ නිදිමරාගෙන පාඩම් කරනවත් එක්ක. ඒකයි මට බය” නිර්මා ඇන්ටී ලීලා නැන්දයි ඔය කතා කරන බබා තමයි මන් කලින් දැක්කේ කියලා මට හිතුනා. විබාගේ ලියන්න ඕනි කිව්වේ ඒ අයියා ඒ ලෙවල් ලියන්නද ඉන්නේ. ඒත් ෆොටෝ එකේ ඉන්න අයියලා තුන් දෙනාගෙන් මේ අයියා කවුද කියලා මන් දැනගෙන හිටියේ නෑ. හැබැයි එයත් මේ ගෙදර නම් ඉන්නේ මට බලාගන්න පුලුවන් වෙයිනේ. “දෝනි, මිගාර ඔයාව හෙට ස්කූල් ගිහින් දායි. හවසට ගන්නත් මිගාර එයි” මන් නිර්මා ඇන්ටිට හා කියන්න ඔලුව වනලා ආයිත් බත් එක කන්න ගත්තා. *****
උදේ නැගිටලා මන් ලෑස්ති වෙලා ලීලා නැන්දා දුන්න කෑම එකත් අරගෙන ඉස්කෝලේ ගියා. අලුතෙන් ඒ ලෙවල් ක්ලාසස් පටන් ගත්ත නිසා මන් වගේ අලුතෙන් ආපු ලමයි ගොඩක් හිටියා. ඒ හින්දා මට ලොකූ පාලුවක් ඉස්කෝලෙදි දැනුනේ නෑ. අපේ ක්ලාස් එකේ හිටියේ ඕලෙවල් වලට ඒ අටට වඩා ගත්ත ලමයි විතරයි. එයාලා නම් දැන් ඉදලම මහන්සි වෙලා වැඩ කරනවා කියලා මට තේරුනේ හැම පාඩමක්ම පුදුම උනන්දුවකින් අහගෙන හිටපු නිසා. මගේ හිත නම් පාඩමේ තිබ්බේ තප්පර ගානයි. බෝඩ් එක දිහා බලාගෙන හිටියට හරි ඉක්මනට මගේ හිත වෙන වෙන තැන් වල යනවා. ඒත් අන්තිමට හිත ගිහින් නතර වෙන්නේ අම්මී ලගම තමයි. ඉස්කෝලේ පීරියඩ් අටම ගෙවුනේ ඔහොම තමා. තව ටික දවසකින් ස්පෝර්ට් මීට් පටන් ගන්න නිසා හරියටම ක්ලාසස් වල උගන්නන ගන්නේ ස්පෝර්ට් මීට් එකෙන් පස්සේ තමා. ඒත් අපි හැමෝටම අනිවාර්යෙන් සොසයිටි එකකට බැදෙන්න කිව්වා. මේ ඉස්කෝලේ ඉගෙන ගන්න එකට වගේම බාහිර වැඩ වලටත් ලමයින්ව ගොඩක් උනන්දු කරනවා කියන එක නම් මට දැනටම තේරිලා තිබ්බේ. මට ලස්සනට ගිටාර් ගහන්න පුලුවන්. ඒක මන් ඇත්තටම හොබී එකක් විදිහට කරේ. ඒත් අම්මී නැති උනාට පස්සේ මන් ගිටාර් එක ඇල්ලුවේ වත් නෑ. අඩුම තරමේ මන් නිර්මා ඇන්ටිගේ ගෙදර එනකොට ගිටාර් එක ගෙනාවේ වත් නෑ. ඒක තාම අපේ ගෙදර මගේ කාමරේ ඇතුලේ ඇති. ඉස්සර වගේ මන් ගිටාර් ගගහා සින්දු කියන කොට අප්පුඩි ගහන්න අම්මී මන් ලග නෑ නේද කියලා මතක් වෙනකොට මට ගිටාර් ගහන්න හිතෙන්නේ නෑ. මිගාර එක්ක මන් ගෙදර ඇවිත් වොශ් එකක් දාගෙන කෙලින්ම ඇදට වැටුනේ. අනේ මන්දා මට පුදුම පාලුයි. වෙනදා අම්මී මන් ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු ගමන් ලොකූ බත් එකක් කවනවා. මොකදා මන් ගෙදර එන්නෙම අම්මී පැටියෝ, මට බඩ......ගිනියි කියාගෙන නේ. කොහොම හැදෙන කෙල්ලෙක්ද මන්දා, ඉස්කෝලේ නටලා නටලා ඇවිත් වොශ් දාගන්නේවත් නෑ කිය කිය මට බැන බැන ඊට පස්සේ අම්මී බත් කවනවා. බතුත් කාලා විනාඩි තිහක් විතර සෝෆා එකේ දිගෑරිලා ඉදලා තමා මන් වොශ් දාන්න යන්නේ. අම්මී, මන් අද ආපු ගමන් වොශ් දැම්මා. ඒත් මට බත් කවන්න කවුරුවත්ම නෑනේ. හන්ගගෙන ඉන්න කදුලු වාන් දාලා වගේ වැටෙන්නේ මේ වෙලාවට තමයි. මන් එහෙම්මම නිදා ගත්තේ බඩගින්නක් ලග පාතක වත් තිබ්බේ නැති නිසා. “චූටි බේබී...” “චූටි බේබී...” මන් නින්දෙන් ඇහැරුනේ කවුරු හරි කතා කරන සද්දේ ඇහිලා. යන්තම් ඇස් දෙක ඇරගෙන මන් හැරිලා බැලුවම මන් දැක්කේ ඇද ලග ඉන්න ලීලා නැන්දා. මන් ටක් ගාලා නැගිටලා ඇදෙන් වාඩි උනා. “චූටි බේබි දවල්ට කෑවෙත් නෑනේ. දැන් රෑ වෙලා. බත් කන්න යමුද?” ලීලා නැන්දා ආදරෙන් එහෙම කියන කොට මට කන්න බෑ කියලා කියන්න හිතුනේ නෑ. ඒ හින්දා මන් ඔලුව වැනුවා. “මන් පල්ලෙහාට යනවා. චූටි බේබි එන්න එහෙනම්” අඩලා අඩලා ඇස් දෙක පුපුරු ගගහා වගේ තිබ්බේ. ඒ හින්දා මන් බාත්රූම් එකට ගිහින් මූනත් හෝදගෙන පල්ලෙහාට ගියා. මන් කන්න යනකොට නිර්මා ඇන්ටී හිටියෙත් නෑ. ලීලාගෙන් නිර්මා ඇන්ටී කෝ කියලා අහන්න කලින්ම, “ලොකු නෝනා අද එන්න ටිකක් රෑ වෙනවා කිව්වා චූටි බේබි. චූටි බේබි කන්නකෝ” ලීලා ඇවිත් කිව්වා. කන්නත් ලොකු පිරියක් තිබ්බේ නැති නිසා මන් බත් හැන්දක් විතර පිගානට දාගෙන කන්න පටන් ගත්තා. ඒ වෙලේම වගේ රේස් කරලා වගේ ඇතුලට දාපු වාහන දෙකක සද්දේ මට ඇහුනා. ටිකකින් කටහඩවල් තුනක් විතර දොර පැත්තෙන් ඇහුන නිසා මන් කන්නෙත් නැතුව ඒ පැත්ත බලාගෙන හිටියා. “යකෝ, රෑ තිස්සේ උබේ වැඩ වලට මහන්සි වෙලා මහන්සි වෙලා අපිට මෙහෙම සලකලා මදි, නැද්ද මිතුන්?” “ඔව් බන්, බලපන් දැන් වෙලාව කීයද කියලා? ගෙදර හිටියා නම් තේ එකේ මාරි බිස්කට් එකක් පොගවගෙන කාලා සූර පප්පා හරි බලන්න තිබ්බා” “අනේ හු... උබ බලන සුර පප්පා?” “උබ සූර පප්පා බලනවා කියලා කාමරේට වෙලා බලන ඒවා මන් දන්නේම නෑනේ.” “අනේ පලයන් යන්න ඔටුවා. මන් මල් වගේ හැදුන කොල්ලෙක්. උබලා එක්ක වසන්න ඇවිත් තමා මේ මල පොඩි උනේ.” “කටවහගනින් බන්. උබලා දෙන්නා මරා ගන්න ගියාම මොන්ටිසෝරි එවුන් පරාදයි.” “අකේන් බබා.... අපි එහෙනම් ක-” මාව දැකලද කොහෙද කෑම කාමරේට එන ගමන් හිටපු අයියලා තුන් දෙනෙක් කතා කරන එකත් නවත්තලා එක තැනම ෆ්‍රීස් වෙලා වගේ නැවතුනේ. කටවල් ඇරගෙන එයාලා මන් දිහා බලාගෙන හිටපු විදිහට මන් ටක් ගාලා එයාලගෙන් ඇස් දෙක අරගෙන බත් එකටම ඔබා ගත්තා. “උබලගේ කටවල් ටිකට මොකද උනේ?” පුදුම විදිහේ ගැබුරු කටහඩක් ඒත් එක්කම මට ඇහුනේ. මන් ආයිත් ඔලුව උස්සලා බැලුවේ ඒ කටහඩ ඒ තරම් ගැබුරු නිසා. අර අයියලා තුන් දෙනාව පහු කරගෙන ෆෝන් එකෙන් මොනවද කර කර ආපු අයියා කෙනෙක් ඒ ගමන්ම ඔලුව ඉස්සුවා. මාව දැක්ක ගමන් ඒ ඇහි බැම රැලි උනේ මොකද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව වගේ. ඒ ඇස් දිගටම මගේ දිහා බලාගෙන හිටියා. ඒ වෙලේ ගෙදර ඉදිකට්ටක් වැටුනත් ඇහෙන තරමට නිශ්ශබ්ද වෙලා තිබ්බේ. ඇස් අටක්ම මන් දිහා බලාගෙන ඉන්න විදිහ දරාගන්න බැරි නිසා මන් කන්න ගත්ත ගමන් තිබ්බ කෑම එකත් අරගෙන හිමීට නැගිටලා කුස්සියට ගියා. “චූටි බේබි, ඔය කෑම එක එහෙම්මමනේ.” මන් කුස්සියට ගිය ගමන් ලීලා නැන්දා බත් එක දිහා බලාගෙන කිව්වේ. කිසිම සද්දයක් තිබ්බේ නැති ගෙදර ඒ වෙලේ ලීලා නැන්දගේ කටහඩ දෝන්කාර දුන්නා. “මූ අපිට හොරෙන් කෑල්ලක් සෙට් කරගෙන ඒකිව ගෙදරටත් ගෙනල්ලද? උබේ හොදම යාලුවා කියනවට අපේ කටට නියගලා දාන්න ඕනි අකියා.” “කටවහගෙන හිටපන් මිතුන්.” ආයිත් අර ගැබුරු කටහඩ. ඒ සද්දේ ඇහිලද කොහෙද ලීලා නැන්දා කර කර හිටපු වැඩෙත් නවත්තලා ඉක්මනට සාලේ පැත්තට ගියේ. “බබා ආවද? අද බේබිලා ඔක්කොමලා ඇවිත් තියෙන්නේ.” “අහ්.. ලීලා ප්‍රින්සස්... ඔයාගේ රස... කෑම එකක් කන්නේ නැතුව සාගතේට අහුවෙලා වගේ හිටියේ.” “අනේ යන්න මිතුන් බේබි. මන් කෑම බෙදලා තියෙන්නේ. බේබිලා වාඩි වෙලා කන්න එහෙනම්. “ “මේ.... ඒක නෙවෙයි ලීලා නැන්දේ..” “ඇයි නිතේශ් බේබි...” “මේ.... මේ.....” “අර මෙතනින් නැගිටලා ගිය සුරන්ගනාවී කවුද? අපේ අකියා අපිට නොකියා කසාදවත් බැදලද?” කතා කරන්නේ කවුද කියලා බලාගන්න බැරි උනත් මන් කුස්සියේ ඉදලා ඔක්කොම අහගෙන හිටියේ. “කවුද? චූටි බේබි ගැනද කිව්වේ?” “අහ් ඒ අපේ ලොකු නෝනගේ යාලුවෙක්ගේ දුවෙක්.” “ආ......හ්” කටහඩවල් තුනක්ම එක පාර එහෙම කියනවා කුස්සියට හයියෙන් ඇහුනා. ටික වෙලාවකින් ලීලා නැන්දා කුස්සියට එනකොට මන් බත් එක ඩස්පින් දාලා පිගානත් හෝදලා තිබ්බේ. “ඇයි චූටි බේබි? කෑම රස නැද්ද?” හෝදපු පිගාන දැකලද කොහෙද ලීලා නැන්දා මගෙන් ඇහුවේ. “බඩගිනි නෑ ලීලා නැන්දේ.” මන් හෙමින් ලීලා නැන්දට කිව්වේ කෑම කාමරේ ඉන්න අයට ඒ සද්දේ ඇහෙයි කියලා. “කවුද අකේන් ඒ නම්කී බබා?” “මන් දන්නේ කොහොමද.” අර ගැබුරු කටහඩ එක අයියා කෙනෙක් අහපු දේට තරහෙන්ම උත්තර දුන්නා. “උබේ ගෙදර ඉන්න මිනිස්සු ගැන උබ දන්නේ නැතුව අපිද දැනගන්න ඕනි උට්ටෝ?” “උබට ඔච්චර අමාරු නම් උබ ගිහින් විස්තර අහපන් මිතුන්.” ඒ වෙන කටහඩක්. “අනේ සහස්ක උබ මැදට පැනලා දෙන්නේ නැතුව ඉදපන්. උබ ඉස්කෝලෙට විතරයි DHP හොදේ.” “කටවහගෙන කාපල්ලා බන්. උබලත් ඉතින් කෙල්ලෙක් දැක්කම උන් හිටි තැනුත් අමතකයි.” “මන් උබ වගේ කොලු සීන් එකේ නෑනේ සහස්ක. උබට ඉතින් නගි-” “දැන් ඕක ඇති බන්. කාලා ඉතුරු වැඩ ටික කරන්නත් ඕනි.” අර ගැබුරු කටහඩ ආයෙමත් කිව්වම ඔක්කොමලා සද්ද නැතුව කන්න ගත්තා. මන් කුස්සියටම වෙලා හිටියේ ආයිත් උඩට යන්න කෑම කාමරේ මැදින් යන්න ඕනි නිසා. කුස්සියේ අයිනක තිබ්බ පොඩි ටේබල් එකත් එක්ක දාලා තිබ්බ පුටු හතරෙන් එක පුටුවක් ඇදලා අරගෙන වාඩි උනා. අයියලා ටික කාලා ඉවර උනාම මන් උඩට යන්න හිතා ගත්තා. “ලීලා, අපිට බො-” අර ගැබුරු කටහඩ මගේ ලගින්ම වගේ ඇහුන නිසා මේසෙට ඔබාගෙන හිටපු ඔලුව උස්සලා මන් ඉස්සරහා බැලුවා. මාව දැකලද කොහෙද කියාගෙන ආපු එක නතර කරේ.
“ඇයි බබා?” “අපිට බොන්න මොනවා හරි උඩට අරන් එනවද? අරුන් ටික අද රෑ මෙහේ ඉදී.” “මන් ජූස් මොනවා හරි අරගෙන එන්නම් බබා.” “කෝක් නැද්ද?” “අනේ බබා, මගෙන් මුකුත් අහගන්න එපා. ඔය වස විස බොන්න එපා කියලා ලොකු නෝනත් කියනවා නේද?” “හරි හරී... අපි එහෙනම් උඩට යනවා.” මන් බිම බලාගෙනම හිටියේ ඒ කතා වලට මට සම්බන්ද වෙන්න ඕනි නැති නිසා. ටිකකින් අයියලාගේ කටහඩවල් ඇහෙන්නේ නැතුව ගියාම මන් ලීලා නැන්දටත් කියලා උඩට ගියා. කාමරේට ගියත් අර කටහඩවල් ටික ලගින්ම වගේ ඇහෙන්නේ ඇයි කියලා මට හිතා ගන්න බැරි උනා. බැල්කනි එකට යන දොර ඇරලා තිබ්බ නිසා ඒක වහන්න කියලා ලගට ගියාම තමයි තේරුනේ ඒ කටහඩවල් ඇහෙන්නේ එහා පැත්තේ කාමරෙන් කියලා. “අරූ නම් දැන් ගානට වඩා වැඩී අකේන්. හැමතිස්සෙම ගේමටම තමා එන්නේ.” “ඇදලා දෙකක් දුන්නා නම් ගානට ඔය රැස් බහී. උගේ අප්පගේ ඉස්කෝලේ කියලද දන්නේ නෑ හිතාගෙන ඉන්නේ.” “අප්පගේ වගේ තමයි බන්. උගේ සීයා අපේ ඉස්කෝලෙට මාර ඩොනේශන් ගොඩක් දීලා තියෙන්නේ. ඒක තමා ඌ මොන ප්‍රශ්නේ ඇද්දත් ඉස්කෝලෙන් ලොකුවට පනිශ්මන්ට් නොදී හිටියේ. ඒත් අන්තිමට මූ කේස් එක දාගත්තෙත් එසේ මෙසේ කෙල්ලෙක් එක්ක නෙවෙයි නේ. ඔය කේස් එකට ඇදුන කෙල්ල නතාලිගේ ලගම යාලුවෙක්ලු. ඒ නිසා තමයි නතාලි අන්කල්ට කියලා කේස් එක ඇද්දේ. අන්තිමට ඉතින් බලශක්ති ඇමතිගේ පවර් එකට තමා ඉස්කෝලෙන් ඔය පනිශ්මන්ට් එක දුන්නේ. ඌ මූත් එක්ක කේස් අදින්නේ ඒ නිසා ඌට හෙඩ් බෝයි වෙන්න බැරි උන කියලා හිතාගෙන.” “ඒත් අකේන් එක්ක ඌට හෙල්ලෙන්නවත් බෑ කියලා අපේ මුලු ඉස්කෝලෙම දැනගෙන හිටියනේ බන්.” “ඒක ඉතින් අපිට තේරුනාට උගේ කුරුලු මොලේට ඒක තේරෙන්නේ නෑ බන්.” “ඔය වලි දාගන්නේ ඒකෙන් අකේන්ට වැරැද්දක් දාන්න. මොකද මූ ඔහොම වලි දාගෙන පෙන්නන්න හදන්නේ අකේන්ට මූව කොන්ට්‍රෝල් කරන්න බෑ කියන එකනේ.” “ආයිත් ඔය රැස් දාගෙන ආවොත් මන් දීලා අරිනවා බන් ප්‍රිෆෙක්ට් පට්ටම නැති වෙන්න හරි.” “මන් ඒක ඌ එක්ක බලා ගන්නම් මිතුන්. උබ මේ ප්‍රශ්න මැද්දට එන්න එපා.” “දැන් උබේ ප්‍රශ්න මගේ ප්‍රශ්න කියලා දෙකක් තියෙනවද අකේන්? කියපන්. මන් මේ ටික දවසකින් නිර්මා ඇන්ටිට කියලා උබේ අත ඉල්ලන්න බලාගෙන ඉන්නේ. මේ ඔවාලා අපි දෙන්නගේ වෙඩිමට එනවද මැනිකෙලා?” “පැත්තකට පලයන් මිතුන්. උබ ඔය ඇග අස්සේ යන ඒවා සහස්ක එක්ක තියා ගනින්. මන් ඔය සයිඩ් එකට බැට් කරන්නේ නෑ.” “මූට එක සයිඩ් එකක් නෑ කියලා උබ දන්නේ නැද්ද නිතෙශ්. මූ සයිඩ් දෙකටම බැට් කරනවා.” “අන්න අන්න, මගේ සහස්ක සූකිරියට විතරයි මන් ගැන හරියටම තේරුනේ.” ඒ කාමරෙන් ආයිත් ආවේ හිනා වෙන සද්දයක්. මගේ කාමරෙත් ගොඩක් ලොකු උනාට මගේ කාමරේට වඩා එහා පැත්තේ තියෙන කාමරේ ලොකුයි කියලා එලියෙන් උනත් පේනවා. උඩට එන පඩිපෙල නැග්ග ගමන් තියෙන ලොකු සාලෙන් වම් පැත්තට ගියාම තිබ්බ කොරිඩෝ එකෙත් වම් පැත්තේ තමයි මගේ කාමරෙයි එහා පැත්තේ කාමරෙයි තිබ්බේ. කොරිඩෝ එකෙන් ආපු ගමන් තියෙන්නේ මගේ කාමරේ. මගේ කාමරේ පහු කරගෙන ගියාම තමා අනිත් කාමරේ තිබ්බේ. එතකොට ඒ කොරිඩෝර් එකේ දකුනු පැත්තේ ලයිබ්‍රි එකකුයි ඊට එහා පැත්තේ ජිම් එක්කුයි තියෙනවා මන් දැකලා තියෙනවා. දකුනු අත පැත්තේ තිබ්බේ නිර්මා ඇන්ටී අන්කලුයි ඉන්න රූම් එක. එයාලාගේ රූම් එක එහා පැත්තේ ලොකු ඔෆිස් රූම් එකක් තියෙනවා. ඒත් අන්කලුත් වැඩිය ගෙදර නැති නිසා නිර්මා ඇන්ටිට පහල ලොකූ කාමරයකුත් තිබ්බා. එයා රෑ වෙලා ගෙදර එන නිසායි උදේ පාන්දර යන නිසායි යන්න එන්න ලේසියට තමා ඒ කාමරේ පාවිච්චි කරන්න අරන් තිබ්බේ. මන් තාම තුන් වෙනි තට්ටුවට ගිහින් නෑ. ඒ තට්ටුවට යන්න හේතුවකුත් නැති නිසා මේ ගෙදර මන් තාම හරියට ඇවිදලා තිබ්බේ දෙවෙනි තට්ටුවෙයි පහල තට්ටුවෙයි විතරයි. මන් ලයිට්ස් ඕෆ් කරගෙන බැල්කනි එකේ දොරත් වහලා ඇදට ආවා. එහා පැත්තේ කාමරෙන් නම් දිගටම කටහඩවල් ඇහෙනවා. ඉස්සරහට කාමරේ අස්සටම වෙලා ඉන්න වෙයිද කියලා හිතුනේ මාව දැක්ක ගමන් අර මූනේ මන් දැක්ක බැල්ම එක්ක. හැමෝම බබා කියලා කතා කරන්නේ අකේන් අයියට කියලා මන් දැන් දන්නවා. ගෙදර එන්ලාජ් කරලා තියෙන ෆොටෝ එකේ මැදම ඉන්න මූන අදුර ගන්න මට ඒ තරම් වෙලාවක් ගියේ නෑ. ඒත් ඒ කටහඩ ඒ තරම් ගැබුරු උනේ කොහොමද? නිර්මා ඇන්ටිට නම් තියෙන්නේ හරිම නිවිච්ච කටහඩක්. ඒත් අකේන් අයියගේ කටහඩ පුදුම ගැබුරුයි. එයා ගොඩක් උසයි. ඒත් ඇගේ ගානටම වගේ මහත තියෙනවා. සුදු පාට හම අව්වටද මන්දා කලු වෙලා අමුතු කහ පාටකට හැරිලා තිබ්බේ. එයාට තිබ්බේ ඝන ඇහිබැමි. ඒ ඇහිබැමි ඒ ගැබුරු කටහඩ එක්ක එයාට ටිකක් නපුරු අහන්කාර පෙනුමක් ගෙනාවේ. මේ වගේ ගෙදරක ඉන්න කෙනෙක් ඔහොම අහන්කාර වෙන එක එක අතකට පුදුමෙකුත් නෙවෙයි. ආයිත් මට එක පාරටම ඇඩුනේ අම්මී හිටියා නම් කියලා හිතිලා. කාමරේකට වෙලා මෙහෙම තනියම ඉන්න වෙයි කියලා මන් කවදාවත් හිතුවේ නෑ. මේ ගෙදර මගේ ගෙදර කියලා හිතන්න කියලා නිර්මා ඇන්ටී කිව්වත් මන් මේ ගෙදරට ආගන්තුකයෙක් කියන එක හැමතිස්සෙම හිත මතක් කරනවා. අයියලා ආපු වෙලේ කුස්සියට වෙලා ඉන්න කොටත් මට දැනුනේ ඒ අසරනකමමයි. ඒත් මෙහේ ඉන්න බෑ කියලා අප්පච්චිට කියලා අප්පච්චිට තවත් ප්‍රශ්න දාන්න මට බෑ. එයාගේ දෝනි මැනිකගේ හිත චුට්ටක් හරි හයියයි කියලා පෙන්නන්නයි මට ඕනි උනේ. ***** ඊලග දවසේ උදේ නැගිටින කොටත් ඔලුවේ තිබ්බේ බර ගතියක්. මන් ඇග හෝදගෙන යුනිෆෝම් එකත් ඇදගෙන පල්ලෙහාට ගියා. මන් යනකොටත් නිර්මා ඇන්ටී සාලේ. “ඊයේ දවසටම දෝනි දැක්කේ නෑනේ. කොහොමද ස්කූල් එක හොදද දෝනි?” මගේ ඔලුවත් අත ගාන ගමන් නිර්මා ඇන්ටී ඇහුවේ. “හොදයි ඇන්ටී.” මගේ හිතේ ලොකුවටම තිබ්බ ප්‍රශ්නේ ඒ වෙලාවෙම එලියට දාන්න ඕනි කියලා මට හිතුනා. “ඇන්ටී...” “ඇයි දෝනී?” “මේ... අපිට අනිවාර්යෙන් සොසයිටි එකකට බැදෙන්න කිව්වා. මන් මොන සොසයිටි එකටද යන්න ඕනි?” ඒක මන් නිර්මා ඇන්ටිගෙන්ම අහන්න හිතුවේ නිර්මා ඇන්ටී ගියෙත් මන් දැන් යන ඉස්කෝලෙටම නිසා. මට ඔය දේවල් ගැන තේරුමක් තිබ්බේ නෑ. මොකද ඒ ඉස්කෝලේ පරන ඉස්කෝලේ වගේ නෙවෙයි. හැම බාහිර වැඩකටම සොසයිටි තිබ්බා. ෆොටෝග්‍රැපිද්, ස්පෝර්ට්ස්ද, ඊස්තටිස්ද, ලැන්ග්වේජස්ද, ඒ හැම එකටම සොසයිටි බර ගානක් තිබ්බ ලිස්ට් එකක් ඉස්කෝලෙට ආපු දවසෙම අපිට හම්බුනා. බයෝ කරපු නිසා සයන්ස් සොසයිටි එකට අපිව ඔටෝමැටිකලි එන්රෝල් උනත් ඉස්කෝලෙන් ඔය කියන්නේ බාහිර වැඩ ගැන නිසා මොකද කරන්නේ කියලා මට හිතා ගන්න බැරි උනා. ආයෙත් කවදාවත් ගිටාර් එක අල්ලන්නේ නැති නිසා මියුසික් සොසයිටි එකට බැදෙන්නත් මට බෑ. “දෝනි මොනවද කරන්න ආස?” මන් උරහිස් දෙක අකුලලා පෙන්නුවේ මට මුකුත් තේරෙන්නේ නෑ කියලා. “මන් නම් ඒ කාලේ නොකරපු දෙයක් නෑ. හැමදේම කරා.” ඉස්කෝලේ කාලේ මතක් වෙලාද කොහෙද නිර්මා ඇන්ටිගේ මූනට හිනාවක් ආවේ. “ම්ම්ම්, මන් කියන්නද. ඉන්ට්‍රැක් ක්ලබ් එකට ජොයින් වෙන්න දෝනි. ලීඩශිප් වලට එහෙම ඒ ක්ලබ් එකෙන් හොද හෙල්ප් එකක් එනවා. “ මන් ඔලුව වැනුවේ හා කියන්න. මට ඇත්තටම කිසිම දෙයක් ගැන ලොකු ඉන්ටරෙස්ට් එකක් තිබ්බේ නෑ. අම්මී ඉස්සර කියනවා වගේ මගේ ඇස් දැන් දිලිසෙන්නේ නෑ. ඒ ඇස් වල තිබ්බේ හරිම උදාසීන ගතියක් විතරයි. බයෝ කරන්න ගත්තට මන් ගෙදර ඇවිත් පාඩම් වැඩක් කරපු එක දවසක් මට මතක නෑ. අඩුම තරමේ සබ්ජෙක්ට්ස් තුනට ක්ලාසස් යන්න ඕනි කියලාවත් මට හිතෙන්නේ නෑ. නිර්මා ඇන්ටිටත් ඒක අමතක වෙලාද කොහෙද? ඒ නිසා මන් ඒක මතක් කරන්න ගියෙත් නෑ. මට ඇත්තටම ක්ලාසස් යන්න ඕනි නෑ. උදේ මන් නැගිට්ට වෙලේ ඉදලා එහා පැත්තේ කාමරෙන් සද්දයක් ආවේ නැති නිසා අයියලා උදේම යන්න ඇති කියලා මට හිතුනා. ඒ නිසා මන් පාඩුවේ උදේ කෑම කෑවා. ඊයෙ දවසටම හරියට කෑමක් නැති නිසාද කොහෙද උදේ නැගිටිනකොට ලොකූ බඩගින්නක් දැනුනේ. මන් මිගාර එක්ක ඉස්කෝලේ යනකොට ගරාජ් එකේ නවත්තලා තිබ්බ බෙන්ස් එක මන් දැක්කා. අකේන් අයියා අද එයාගේ කාර් එක අරගෙන ගිහින් නැද්ද කොහෙද. මොකද ඊයේ මන් උදේ යනකොට ඔය බෙන්ස් එක ගරාජ් එකේ තිබ්බේ නෑ. අදත් ඉස්කෝලේ විශේෂ දෙයක් උනේ නෑ. හැබැයි දැන්ම ඉදලා ලමයි එක්කෙනා දෙන්නා එක එක පීරියඩ් වල මිසින් වෙනවා. ඔය එක එක ස්පෝර්ට් කරන ලමයි. එක එක පනිවිඩ අරගෙන කට්ටිය ආවම ඒ ඒ ස්පෝර්ට් කරන ලමයි ගිහින් එනවා. සොසයිටි කන්ෆර්ම් කරන්න කියපු වෙලේ මන් ඉන්ට්‍රැක් ක්ලබ් එකට නම දුන්නේ මියුසික් සොසයිටි එකේ නම් උඩින්ම තියෙනවා දකිද්දී. බෑ, අම්මී නැතුව මට ආයිත් ප්ලේ කරන්න බෑ අම්මී. හවසත් මන් මිගාර එක්ක ගෙදර ඇවිත් ටක් ගාලා වොශ් දාගෙන කෑම කාලා කාමරේට ගියේ අකේන් අයියා කොයි වෙලේ ගෙදර එයිද කියලා දන්නේ නැති නිසා. එයා ඉස්සරහට මට ආයිත් යන්න ඕනි උනේ නෑ. ඒ අකේන් අයියා එක්ක තරහකට නෙවෙයි. ඒත් එදා එයා මාව ගනන් ගන්නේ වත් නැතුව ඉන්න කොට මන් ඉන්න එකට එයා කැමති නෑ කියන එක මට ඕනාවටත් වඩා දැනුනා. ඊයේ වගේ නිදා ගන්නෙ නැතුව මන් ලීලා නැන්දා කතා කරන්නත් කලින්ම ගිහින් අද රෑට කෑවේ අකේන් අයියව මගාරින්නම හිතාගෙන. අකේන් අයියව දැක්කත් මන් තාම අනිත් අයියලා දෙන්නව දැකලම නෑ. ලීලා නැන්දාගෙන් ඒ අයියලා ගැන අහන්න හිතුනත් ඒත් මොකටද කියලා මන් අහන්න ගියේ නෑ. රෑ මට නින්ද ගියේම නැති නිසා මන් ආපහු නෝට් බුක් නවල් එක කියවන්න ගත්තා. ඉස්සර ඉදන්ම මන් පොත් කියවන්න ගොඩක් ආසයි. ඒකත් අම්මී පුරුදු කරපු දෙයක්. මගේ මුලු ජීවිතේම අම්මිගේ හෙවනැල්ලෙන් වැහිලා තිබ්බේ. ඒ හින්දා තමා හැමතිස්සෙම හුස්ම හිර වෙනවා වගේ මට දැනෙන්නේ. ඒත් වෙනදා වගේ මට දුක හිතෙන වෙලාවට මාව බදාගන්න අම්මී දැන් මන් ලග නෑ. රෑ එකොලහට විතර එහා පැත්තේ කාමරේ දොර හයියෙන් වැහෙන සද්දේ මට ඇහුනා. අකේන් අයියා දැන්ද කොහෙද ඇවිත් තියෙන්නේ. මන් උදේ නැගිටින කොට අකේන් අයියා ගෙදර නෑ. හවස එනකොටත් එයා ගෙදර නෑ. හැමදාම ගෙදර එන්නේ මේ වෙලාවටද කොහෙද. ඒත් ඇන්ටී කියපු විදිහට අකේන් අයියා මේ අවුරුද්දේ ඒ ලෙවල් ලියනවා. එතකොට එයා හැමදාම රෑ වෙලා ගෙදර එන්නේ කොහේ ගිහින්ද? ඒත් මට ඒවගෙන් ඇති වැඩකුත් නෑ නේද කියලා ආයිත් මට හිතුනා.
0 Comments