Story Preview
එහෙමයි එහෙමයි. ගුරු මිනිස්සුන්ට* මේවා කාරිය තේරෙනවා බොලං. උන්දැලා යමක් කමක් දගන්න උදවිය" මැදිවිය ඉක්මවූ මිනිසුන් දෙදනා දෙස බැලූ නාය උන්නාන්සේ පඩික්කමට කෙල පහරක් ගසා ඇබිත්තයා දෙස බැලීය.
The Complete Story
එහෙමයි නායක උන්නාන්සේ. අපිට තේරුනා මොකක් හරි අබග්ගෙයක් කියලා ගම් තුලානට අඩිය ගහපු ගමන්." "එහෙමයි එහෙමයි. ගුරු මිනිස්සුන්ට* මේවා කාරිය තේරෙනවා බොලං. උන්දැලා යමක් කමක් දගන්න උදවිය" මැදිවිය ඉක්මවූ මිනිසුන් දෙදනා දෙස බැලූ නාය උන්නාන්සේ පඩික්කමට කෙල පහරක් ගසා ඇබිත්තයා දෙස බැලීය. "නායක උන්නාන්සේ හිතන්නේ මේක කොයියං ක්‍රමේකින් විසදන්ටද? " "ඒක හරියට කියන්ඩ බෑ මහත්තයෝ. මේවා ගොයි ගම්. මේවගෙ උන්ට තණ්නාසෙ නැතුවා. අසික්කිත* කඩප්පුලියො* ටිකක් එක මණ්ඩියට* කොරපු අපරාදෙ හින්දා ගමටම වන්දි ගෙවන්ට උනා. අපි දැන් කාටවත් ගාලි කියාලා* පලක් නැතුවා. රත්තරං සෙම්බුව හොයාල කාරිය, මහවැව පතුලෙ තැම්පත් කොරා නම් බහිරව උන්නාන්සේගෙ කමාව හම්බෙයි ගං කොරේට" "එහෙමයි අපෙ උන්නාන්සෙ. අපි දෙන්නා තකහනියක් හොයලා බලන්නම් ඔය සෙම්බුව ගැන ආරංචි කොරාල. ඒක හම්බ වුන හැටිය අරං එන්නම් පන්සලට" "එහෙමයි. එහෙමයි" _________________________________ "සුවදො ඔය දුං කබල ගෙනත් අල්ලපන් මේ කුටියට දුං. මම හොයාගන්නම් බොල මහවැවේ බහිරව උන්නාන්සෙව ගොඩට එන තරමට වැඩ කරපු අසික්කිත අවලමාව. මට හැකයි ගුරුන්නාන්සෙත් මේකට එක්කාහුද කියලා. උන්දෑ අහවල් කෙන්ගෙඩියක් කොරන්ට ගිහිල්ලැයි නැත්තම් බෙල්ල කඩාගන්නෙ." මහතැන ගුගුරද්දී යටහත් පහත් වූ සුවදා දුම් කබල ගෙනවිත් පන්සලේ කොනක වූ විෂ්ණු දෙයි හාමුදුරුවන්ගේ දේවාලයට දුම් ඇල්ලීය. "උන්දැට පුලුවන්ද අයියන්ඩි ඔය කාරිය කරන්ඩ." දේවාලය අසල වැලි පොලවේ වාඩි වී සිටි සුගුණා එකා සිය සහෝදරයාගේ කනට කෙදිරීය. "කට කට. කට ඉස්සර කරගන්ට නාකයි බොල. මේවා දෙයියො බුදුන්නෙ අඩවි." සුගුණා එකාගේ සහෝදරයා වූ ජිනේ දෑත් මුදුන් කොට වැදගද්දී සුගුණා එකාද දොහොත් මුදුන් දුන්නේය. "මේ පර බල්ලා තමා ඔක්කොටම මුල." ගොයි ගම්මානයේ බලවතකු වූ මහ ගොයි රාලගේ විසි පස් වියැති හැඩි දැඩි දළදඩු* තරුණ පුත්‍රයා මිනිසෙකුව ඇදගෙන විත් දේවාලය පාමුලට විසි කලේය. "යකෝව්. මේවා දෙයියන්ගෙ බුදුන්නෙ අඩවි. කාටද උබ ඔය තලලා අරං ආවෙ. නහයින් කටිං ලේ පෙරෙනවා මේකගෙ. යකෝ අපි ගුරු මිනිස්සු බොලව්. අපි ඉස්සරහට මෙහෙව් එකෙක් ඇදන් එන්ට උබ මොකාද?" කරුංකා ගෙඩියක් තරමට කොන්ඩය බැදසිටි මහතැන, ගුගුරද්දී සුවදා දුම් කබල ආල්ලාගෙනම ඉදිරියට ආවේය. "මම. මම තමයි බොලව් මහ ගොයියගෙ ලොකු එකා මේ ගමේ. උබලා ගුරු මිනිස්සු තමයි. මම නොදන්නවා නෙවේ. මේ ශාපෙ ඇති කරේ මූ. කිරියා තමයි වැව පතුලෙන් නිධන් සෙම්බුව අරං දුන්නෙ. එතනින් තමා ඔක්කොම පටන් ගත්තෙ. මගෙ යාලුවා සුධීර. මගෙ පණ ටිකට නයා ගහලා මලා. ඌ ආත්මයක් වෙලා විදෝනවා. බහිරව උන්නාන්සේ යන්ට දෙන්නෙ නැතුවා ඒකට යන ලෝකෙකට. මුන් නිසා තමා ඔක්කොම" "අන්න හරි මම කොරන්ට ගිය ටික උබ කොරා. මූ තමා එහෙනම් බහිරව උන්නාන්සෙගෙ කනෙන් රිංගුව එකා. කොහෙද බලු නකුටො සෙම්බුව" මහතැන යක්ෂාවේශයෙන් ලේ පෙරාගෙන බිම වැටී සිටින කිරියා දෙස බැලුවේය. "ඉනාමලුවෙන් ආව මහතැන්ලා දෙන්නෙකුයි, ගුරුන්නාන්සෙ මාමයි, මායි තමා මේක කොරේ. මෙච්චර විනාසයක් අපි හිතුවෙ නෑ. ගමටම අබග්ගේ ගෙනාවේ අපි." කිරියා වැලපෙන්නට පටන් ගත්තේය. "කටවහපන් කඩප්පුලියා උබල හිතන් නැතුව තන්නාසෙට සෙම්බුව ගත්තා වගේ නෙවෙයි ගම් තුලානටම වසංගතයක් ගෙනාවා. දැන් කියපන් පර බල්ලා කොහෙද බොල ඔය සෙම්බුව" "සෙම්බුව ගත්තට පස්සෙ එකෙක්ටවත් නිදාගන්න බහිරවයා දුන් නෑ මාමණ්ඩි. උන්නාන්සේ අපි පස්සෙ පන්නනවා. හීනෙන් පවා පේන්නෙ අපිව ඉරලා දානවා. උන්නාන්සෙට පන්සලට අඩිය තියන්ඩ වරම් නැති හන්දා පන්සල් වත්තෙ වැලලුවා කවද හරි මේක ඉවර උනාම ගන්න. ඒත් ගුරුන්නාන්සෙ මාමව බහිරව උන්නාන්සෙ පරසක්වල ගහලා. ඉනාමලුවෙන් ආව මහතැන්ලා දෙන්නගෙ කවන්ධය* වැවේ පාවෙනවා. මම ඒක දැකලා බයවෙලා දුවනකොටයි අබේ මහතැන් මට ගහලා අල්ලාගත්තෙ" "තියන තැනකින් හාරලා ගනින් බොල සෙම්ඹුව මේක අහවරයක් කරන්න ඕන ගමම සොහොන් පිටියක් වෙන්ඩ කලින්" _________________________________ මහ දවාලේ යකා ගසා සිහියක් පතක් නැතුව වැටී සිට පන්සලට ඔසවාගෙන ආ සුනේරිස්ගේ සිහිසුන් ශරීරය බදාගෙන යසෝමා මහ හඩින් වැලපෙන්නීය. කිසිවක් නොතේරුනු සේපාලි අනෝමාගේ රෙද්ද අස්සේ හැංගී කඳුළු පිරි දෙනෙතින් බලා සිටින්නීය. "මෙතන වැලපෙන්ඩ තියාගන්ඩ එපා ගොබ්බියෙ*. මේකා පරසක්වල ගහලා නෑ. මූ සිහියක් පතක් නැතුව ඉන්නෙ. ලොකු හාන්දුරුවෝ මතුරලා පිරිත් පැන් ටිකක් ඉහලා සිහිය ගනී. උබ වැලපෙන් නැතුව හිට මෙතන වැලහින්න වගේ." සුවදා වැලපෙන ගැහැනිය දෙස අනුකම්පාවෙන් බැලුවේය. "අර සෙම්බුව තියන තැන හාරන්ට ගියපු උන්ට මොකද වෙලා තියන්නෙ බලපන් සුවදො. සද්ද බද්දයක් වත් නැතුවා. උන්ට කාරිය කරගන්ට බැරි උනාවත්ද? කොහොමත් බහිරව උන්නාන්සෙට නම් පන්සල් භූමියට අඩිය තියන්ඩ වරම් නැතුවා." "ප්‍රශ්නයක් නැති ගානයි උන්නහේ. ආං සෙම්බුව අරං එනවා. ලොකු හාමුදුරුවො මෙතන ඉන්න ලෙඩා දුකාව බලයි. අපි යමන් මේක අහවරයක් කරමු." රත්තරං සෙම්බුව අතින් ගත් අබේ සහ තවත් තරුණයන් කිහිප දෙනෙකු පෙරටු කරගෙන ගුරු මිනිසුන් දෙදෙන වැව් පිටිය දෙසට ඇදෙද්දී ගුටි කා සිටි කිරියා විෂ්ණු හාමුදුරුවන්ගේ දෙපා මුල මැරී වැටින. _________________________________ "බයගන්ඩ කාරි නෑ බොලව් අපි ඉන්නකම්. අබේ කොලුවෝ උබ ඉස්සරහින් හිටපන් මම බෙරේ ගහන්න ගන්නවා. සුවදා උබ දුම් කබල අල්ලාපන්. අපි බහිරව උන්නාන්සෙව මෙතනට කැදවලා උන්නාන්සෙගෙ අතට මේ රන්, මැණික් සෙම්බුව දෙමු. ඊට පස්සෙ මේ ගම්තුලානට වෙච්ච කරදර අහවර වෙන්ඩ කියලා අපි හාමුදුරු විසි එක් නමක් කැදවලා ගම් මැද්දේ පිරිතක් කියවමු" "එහෙමයි ගුරු උන්නාන්සෙ" අබේ කීවේ වැඩි කැමැත්තකින් නොවේ. තමා අතින් සෙම්බුව ගෙන තමාව බහිරව උන්නාන්සේ මරාදමාවිද කියනා බය අබේගේ හිත පුරා සක්මන් නොකෙරුවාම නොවේ. අන්ධකාරය පැතිරෙද්දී සඳ මෝදු වෙන්නට පටන් ගත්තේය. නොනවත්වා වැයෙන බෙර පදය, දුම් කබලෙන් එන ගස් වල පොතු දැවෙනා සුවඳ දරාගෙන අබේ සෙම්බුව ගෙන ඉදිරි පසින් සිටියේය. වැව් ජලය එක් තැනකින් කැළබෙද්දී කාල වර්ණ රුවක් වැව් ජලයෙන් මතුවී පෙරට ඇවිද එන්නට විය. හෙතම අඩි හයකට නොවැඩි උසකින් සමන්විත පෘෂ්ඨිමත් මස් පිඩු සහිත ශරීරයකට හිමි කාල වර්ණ යෝධයෙකි. බහිරව උන්නාන්සේ පැමින රන් සෙම්බුව අතට ගනිද්දී අබේට බඩදිය* පවා ඇද වුන් සරමේම පහවිය. එහෙත් කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයට සාමය පැතිරුණි. බහිරව උන්නාන්සේ සෙම්බුව ගෙන වැව් ජලයට බැස ජලය අතරේ නොපෙනී ගියේය. "අහවරයි ඒ රාජකාරියත්" "බොහොම පින් මාමණ්ඩි අපේ ගම්තුලාන මෙහෙම බේරාගත්තට." "මට නෙවේ උබටයි පින් දෙන්ඩ ඕන රත්තරං සෙම්බුව හොයාගත්තු එකට" "මම ඒක කලේ මගෙ යාළුවා සුධීර වෙනුවෙන්. උගෙ ආත්මෙ දුක් විදිනවා මම බලන් ඉන්නෙ කොහොමෙයි? ඌ මගේ එකා. මගෙ පණ" "ඒකත් ඇත්තනෙ කොළුවො. අපි එහෙනං දැන් මේ ගම්මැද්දෙන් තොලොන්චි වෙනවා. උබල හැමෝටම යහපතක් වෙයි. පිරිතක් කියපල්ලා හාමුදුරු විසි එක් නවක් වැඩවලා.තෙරුවන් සරණයි. සියළු දේව ආරක්ෂාවයි" අබේ ගුරු මිනිසුන් දෙදෙනාට දණ ගසා වැන්දේය. ඔවුන් අන්ධකාරයේම බෙරය රැගෙන පිටව යනු බලා සිටියේය. "අන්තිමට අහන්න බැරි උනා. මාමගෙ නම මොකක්ද? අනික් මාමා නම් සුවදා කියලා අපි දන්නවා නොවැ." "මම... සියදෝරිස්... ගුරු මිනිස්සුන්ගෙ කුලේ එකෙක්" අන්ධකාරය අතරින් අබේට ඇසුනේ එපමණකි.
0 Comments